දුස්සාධ්‍ය රෝග එහෙමත් නැත්නම් බෝ නොවන රෝග කියන්නෙ මොනවද කියලත් ඒවායින් බේරෙන්න අපි ගතයුතු පියවර 11ක් ගැනත් කලින් ලිපියෙන් අපි කතා කලා. බැලුවෙ නැති අයට මෙතනින් ගිහින් ඒ ලිපිය කියවන්න පුලුවන්
අපේම වරදින් සෑදෙන බෝ නොවන රෝග (Non Communicable Diseases)
අද ඉඳන් අපි මේ පියවර 11 ගැන වෙන වෙනම විස්තරාත්මකව කතා කරමු
පළමු පියවර – දුම්පානය නැවැත්වීම.
කිසිම පුද්ගලයෙක් කිසිම හේතුවකට දුම්පානය කිරීම අනුමත කරන්න බැහැ. මොකද ඒකෙන් තමන්ටද එම දුම අඝ්‍රාණය කරන්නන්ටද මරණය කැඳවීමට හේතු විය හැකි නිසා. මෙයට සිගරැට්, බීඩි වල විතරක් නෙවෙයි ඕනෑම දුම්කොල අඩංගු නිෂ්පාදනයක් ඇතුලත්, උදා: බාබුල්, සාරවිට, බුලත් විට,….
ඇයි අපි දුම්පානයෙන් වැලකිය යුත්තේ?
ලෝකයේ සිදුවන වැඩිහිටි මරණ 1/10 ක් දුම්කොළ නිසා තමයි සිදු වෙන්නෙ.
2006 වසරේ දී දුම්කොළ නිසා සිදු වූ සම්පූර්ණ මරණ සංඛ්‍යාව ලක්ෂ 54 කි. එනම් සෑම තත්පර 6.5 කට එක මරණයකි.
දුම්පානය හේතුවෙන් ශ්‍රී ලංකාවේ වසරකට වන මරණ සංඛ්‍යාව 20 000 පමණ වෙනවා. (දිනකට මරණ 55 – 60)
දුම්කොල දුමෙහි අධික ලෙස කාබන් මොනොක්සයිඩ් අඩංගු වෙනවා. මෙම කාබන් මොනොක්සයිඩ් අපගේ රුධියේ ඇති ඔක්ශිජන් රැගෙන යාමට ඇති හැකියාව අඩපණ කරනවා. මෙවිට ඇතිවෙන ඔක්ශිජන් හිඟය නිසා හදවත, පෙනහලු, මොලය, වකුගඩු ඇතුලුව බොහොමයක් අපේ අවයව වල ක්‍රියාකාරීතවය වගේම ජීව කාලයද අඩු වෙනවා.
මේ නිසා දුම්කොළ භාවිතා කරන අයට හෘදයාබාධ, අධිරුධිර පීඩනය, නහරගත ලේ කැටිති, මොලය අභ්‍යන්තර ලේ ගැලීම් හෝ ලේ නහර අවහිර වීම් වැනි රෝග තත්ව ඇති වීමේ හැකියාව ඉතා වැඩියි.
මේ කිව්වෙ සිගරැට් වල අන්තර් ගත එක සංඝටකයක් විතරයි. පහලින් පොඩි ලැයිස්තුවක් විදිහට අනෙක් සංඝටක ටික දාන්නම්.
- නිකොටින් – මකුණු මර්දන රසායනික ද්‍රව්‍යයක් ලෙස යොදා ගැනේ
- තාර (Tar)– හැමෝම දන්නවානෙ පාරවල් හදන්න ගන්නෙ
- ඩී.ඩී. ටී – කෘමිනාශක
- සයනයිඩ් – මාරාන්තික විසකි
- ආසනික් – මි නාශක රසායනික ද්‍රව්‍ය
- ෆෝමැල්ඩිහයිඩ් – මෘතදේහ කල් තබා ගැනීම.
- සල්ෆියුරික් ඇසිඩ් – වාහන බැටරි වලට යෙදීම
- කැඩ්නියම් – බැටරි තැනීමට යොදා ගැනේ.
- ඇසිටෝන් – නිය ආලේපන ඉවත් කරන ද්‍රව්‍ය වල අඩංගු වේ.
ලෝකෙ තියෙන විස වර්ග සියල්ල එකතු කරල පොඩි කූරකට සාන්ද්‍ර කරල දෙන දෙයක් තමයි සිගරැට් කියන්නෙ.
•2006 අංක 27 දරණ දුම්කොළ හා මධ්‍යසාර පිළිබඳ ජාතික අධිකාරිය පනත මගින් පහත සඳහන් නීති පනවා තිබෙනවා.
– අවුරුදු 21 ට අඩු තැනැත්තන්ට දුම්කොළ නිෂ්පාදන අලෙවි කිරීම සපුරා තහනම් වේ.
– පොදු ස්ථානයන්හි දුම්බීම තහනම්.
– දුම්කොළ ප්‍රචාරණය තහනම්.
– විවිධ උත්සව සඳහා දුම්කොළ කර්මාන්තයෙන් අනුග්‍රහ ලැබීම තහනම්.
ඉහත නීති උල්ලංඝනය වනා ඕනෑම අවස්ථාවක එයට විරුද්ධව කටයුතු කිරීමේ අයිතියක් ඇති අතර එය අපේ වගකීමක්ද වෙනවා. මක්නිසාද කිවහොත්, ද්විතීය දුම්කොළ දුමාරය මුලු සමාජයටම මාරාන්තික වන බැවිනි. ද්විතීය දුම්කොළ දුමාරය යනු අප්‍රධාන ප්‍රවාහ දුමාරය හෙවත් දල්වන ලද සිගරට් එකකින් නිකුත්වන දුමාරයි.
දුම්කොළ දුමාරයට නිරාවරණය වීම නිසා ගැබිනි මව්වරු විසින් බිහිකරනු ලබන දරුවන්ට
• උපත් බර අඩු වීම.
• දීර්ඝ කාලීන ස්වසන රෝග වලට හේතුවීම
• මල දරු උපත් ඇති වීම.
සිදුවිය හැක.
එමෙන්ම බිළිදුන් , ළදරුවන් , ළමුන් දුම්කොළ දුමාරයට නිරාවරණය වීම නිසා
– හදිසි ළදරු මරණ
– දරුණු ස්වසන ආසාදන
– කර්ණ ආසාදන
– ඇදුම රෝග උග්‍ර වීම
– පෙනහලුවල වර්ධනය අඩාල වීම
– පිළිකා
යන තත්ව ඇති වෙන්න පුලුවන්
යම් අයෙකු දුම් බීම නවතා දමන මොහොතේ පටන් ඔහුගේ/ඇයගේ සිරුර යළි යථාතත්වයට පත් වීම ආරම්භ වෙනවා,
දුම්බීම නවතා වසරක් ගත වන විට රුධිර සංසරණ පද්ධතිය ආශ්රිත රෝග වැලදිමේ අවදානම දුම්බොන අයෙකුට වඩා 50% අඩු වෙනවා.
දෙවන පියවර – මත්පැන් පානය නැවැත්වීම
මේ පිළිබඳව අද සමාජයේ කෙතරම් කතා බහට ලක් වුවත් මෙහි බරපතල බව කිසිවෙකු අවබෝධ කර ගන්නා බවක් දකින්න බැහැ.
ඍජුවම මත්පැන් නිසා ඇති වන රෝග තත්ව කිහිපයක්
- අධිරුධිර පීඩනය
- මත්පැන් නිසා ඇතිවන ස්මරණ ශක්තිය අඩපණ වීම (Alcohol Dementia)
- අක්මාව ක්‍රියා විරහිත වීම (Liver Failure)
- අක්මාව ආශ්රිත පිළිකා
- ලිංගික බෙලහීනත්වය හා මදසරු බව (Impotence & sub fertility)
මත්පැනෙහි ආදීනව අපි කලින් ලිපියක සවිස්තරාත්මකව කතා කලා. පහල යොමුවෙන් ඒම ලිපිය සොයා ගන්න පුලුවන් වේවි.
මත්පැනෙහි හපන්කම්……!
මත්පැන් නිසා පවුල් ජීවිතය ඉරිතලා යන ආකාරයත් පහත කතාවෙන් තේරුම් ගන්න පුලුවන්.
(නො)දුටු සතුට
ඉතිං කෙටියෙන් කිව්වොත් බෝ නොවන රෝග වලින් වැලකීමට මත්පැන් වලින් තොර වීම අනිවාර්ය වෙනවා.
දුම්බීම හා මත්පැන් ගැන කවුරු කුමන තර්ක ගොඩනැහුවත් සියලුදෙනාම මේ දෙකම ගොඩක් අහිතකර පුරුදු කියන එක හොඳාකාරව දන්නා දෙයක්.
අවශ්‍ය වෙන්නෙ ඍජු තීරණයක් පමණයි.
මේ පුරුදු දෙක අත හැරියොත් මොනවද අපට ලැබෙන්නෙ?
- නිරෝගී බව සමඟ වැඩි ආයු කාලයක්.
- පවුලේ සාමාජිකයන් හා ඇති එකතුව ආදරය වැඩි වීම.
- අවම ඔබට මසකට 20000කට වැඩි මුදලක් ඉතිරි කර ගැනීමට හැකි වේ.
- සමාජය තුල ඔබ පිළිබඳව ගෞරවයක් පිළිගැනීමක් ඇති වේ.
හිතල බලන්න අපි සෑමදා වෙහෙසෙන්නෙ ඔය ඉහල සඳහන් කල දේවල් දිනා ගන්න නේද? ඉතින් ඇයි අපිම අපේ ජීවිත විනාශ කර ගන්නෙ?