back pain

කොන්ඳෙ කැක්කුම හොඳ වුනේ නැද්ද?

ලෝකේ කිසිම මනුස්සයෙක් නැතුව ඇති කවදාවත් කොන්ඳෙ කැක්කුමක් හැදිච්ච නැති. සැලකියයුතු රෝගීන් ප්‍රමාණයකට කොන්ඳෙ කැක්කුම හොඳ කරගන්නත් බැරි වෙලා ඇති. ඒකට හේතුව තමා බහුතරයක් හැම කොන්ඳෙ කැක්කුමක්ම තෙල් ගාල, physiotherapy කරල හොඳ කරගන්න පුලුවන් කියල විශ්වාස කරන එක.

 

දැන් බලමු මේ කොන්ඳෙ කැක්කුම් හොඳ නොවී යන්නෙ මොකද කියල.

මෙතන මම ලියල තියෙන්නේ chronic back pain එහෙම නැත්තම් කාලාන්තරයක් තියන කොන්ඳ කැක්කුම ගැන. නමුත් acute or sub acute back pain, එහෙම නැත්තම් කෙටිකාලයක් ඇතුලත එන කොන්ඳෙ කැක්කුම ගැනත් ලියල තියනව ඒවයේ භයානකකම හින්ඳ.

කොන්ඳ කැක්කුම එක්ක එන රෝගීන් පරීක්ෂා කලහම සැලකියයුතු කොටසක් non-specific එහෙමත් නැත්තම් නිසි ලෙස රෝග නිර්ණයනක් හොයාගන්න බැරි රෝගීන් ඉන්නවා. එහෙම වෙන්න රෝගියා පරීක්ෂා කරන පුද්ගලයාගෙ clinical acumen එක කෙලින්ම බලපානවා.

නිසැකවම රෝග නිර්ණයක් දෙන්න පුලුවන් අවස්ථා වලදි, ඔවුන්ට specific treatment එකක්, එහෙම නැත්තම් විශේෂිත ප්‍රතිකාර අවශ්‍යය වෙනවා.

 

කොන්ඳෙ කැක්කුමට ප්‍රතිකාර නියම කරන්න කලින්, ලෙඩාගේ විස්තර අහල, ඇඳට දාලා ලෙඩා පරීක්ෂාවට ලක් කරල මුලින්ම රෝගය මොකක්ද කරල අනුමාන කරල තමා ලේ, X ray, CT, MRI වගේ පරීක්ෂණ වලින් මොනවද ඕනෙ කියල තීරණය කරන්නෙ.

කොන්ඳ කැක්කුම් ඒමට අදාල රෝග ගැන වැඩි අවබෝධයක් නැති කෙනෙක් බැලුවහම වෙන්නෙ, අනුමාන රෝග නිර්ණය වැරදි හින්ඳ, රෝග ලක්ශණ එන්න හේතු නොවන CT, MRI පරීක්ෂණ වල පේන්න තියන සුලු ඇත්තටම ප්‍රතිකාර අවශ්‍යය නොවන වෙනස්කම් වලට අදාල ප්‍රතිකාර නියම වෙන්නෙ.

ලෙඩේ හොඳ නොවෙන එකට අමතරව, මුදල් සහ කාලට අපතේ යනවා.

කොන්ඳ කැක්කුම සම්බන්ධ ලෙඩෙක් පරීක්ෂා කරන විට red flags ලෙස හැඳින්වෙන අධි අවදානම් රෝග ලක්ශණ ගැන සැලකිලිමත් වීම අනිවාර්යයයි.

  • සුසුම්නාව තෙරපීම,
  • කොන්ඳේ පිලිකා (බහුතරයක් අවස්ථා වලදී පියයුරු, පුරස්ථ ග්‍රන්ථියේ, වකුගඩුවේ, පෙනහැල්ලේ හටගෙන පැතිරිච්ච, එහෙමත් නැත්තම් multiple myeloma පිලිකාව),
  • කොඳු නාරටියේ එන සැරව එකතු වීම්,
  • කොන්ඳේ අස්ථි වලට විශබීජ ගිහින් එන osteomyelitis,

වගේ තත්ව අනිවාර්යයෙන් හැකි ඉක්මනට හොයාගෙන නිසි ප්‍රතිකාර කරන්න ඕනේ

නිසි ප්‍රතිකාර නොලැබුනොත් එක්කො ලෙඩා සදාකාලිකව ඔත්පල වෙන්න හෝ එහෙම නැත්තම් මිය යන්න පවා පුලුවන්.

සති කිහිපයක හෝ මාස කිහිපයක් තියන කොන්දෙ කැක්කුම එක්ක තමා බහුතරයක් ඔය ලෙඩ්ඩු එන්නෙ. ඔය හින්ද තමා මුලින්ම කොන්ඳෙ කැක්කුමට හේතුව හොයාගන්න නිසි සුදුසුකම් තියන පුද්ගලයකු හම්බු වෙන්න ඕනේ.

මොකෝ වැරැදි විදිහට ප්‍රතිකාර කලත්, තාවකාලිකව කැක්කුම අඩුවෙන්න පුලුවන්

අනෙක් දිගුකාලීන කොන්ඳෙ කැක්කුම එන්න හේතු තමා osteoporosis රෝගය නිසා බොහෝ විට ලෙඩාත් නොදැනුවත්ව කොදු ඇට බිඳීම්, radiculopathies ලෙස හැඳින්වෙන සුසුම්නාවෙන් එලියට එන nerve roots තෙරපීම්, spinal stenosis ලෙස හැඳින්වෙන සුසුම්නාව ගමන් කරන කුහරය හීනි වීම, කොන්ඳ ඇදවීම් (පැතිකුදය {scoliosis}, kyphosis) වගේ තත්ව සහ spondylarthritis ලෙස හැඳින්වෙන සැලකියයුතු සංකුලතා ඇති කලහැකි ආතරයිටිස් තත්ව.

 

සමහර අවස්ථාවල වකුගඩු, බඩේ ලොකු ලේ නහර විශාල වීම් සහ එම ලේ නහර ඇතුලේ ලේ ගැලීම්, සමහර වෙලාවට හර්පීස් නැවත මතුවීම් නිසා කොන්ඳෙ කැක්කුම් එන්න පුලුවන්. තවත් trochanteric bursitis, adductor tendinitis, piriformis syndrome, bartolettis syndrome, coccydynia, උකුලේ එන ආතරයිටිස් තත්ව වලදිත් කොන්ඳෙ කැක්කුම එන්න පුලුවන්.

 

කොන්ඳෙ කැක්කුමට හේතුව හොයාගන්න බැරි වුනහම එන්නෙ අන්තිමට X ray, CT, MRI පරීක්ෂණයක් කරල ඒකෙ තියන වෙනස්කම් වලට කොන්ඳ කැක්කුම එනව කියල හිතාගෙන ප්‍රතිකාර කරන එක සාර්ථක නොවෙන්න පුලුවන්. රෝග නිර්ණය රිපෝර්ට් වලට ගැලපෙන්න ඕනේ.

ඕකට එක හේතුවක් තමා අවුරුදු 40 විතර පැන්න ඕනෑම අයෙක්ගෙ කොන්දෙ MRI පරීක්ෂණක විශේෂයෙන් L5/S1, L4/L5 වගේ තැන්වල කාටිලේජ ගෙවී යෑම්, කුඩා ස්නායු තෙරපීම් බහුතරයක් අවස්ථා වල කිසිම රෝග ලක්ශණයක් ඇති නොකර රෝගියාට තියෙන්න පුලුවන්.

Clinical diagnosis එක, එහෙම නැත්තම් ලෙඩා කියන විස්තරය සහ ලෙඩා ඇඳේ දාල පරීක්ෂා කරල බලනකොට එන රෝග නිර්ණයට ප්‍රතිකාර නියම කරන එකට තමා මූලිකත්වය එන්න ඕනේ, ඒක අමතක කරල රිපෝර්ට් එකට බෙහෙත් කරන එක අසාර්ථක වෙන්න පුලුවන්.

අනික් ගැටලුව තමා clinical diagnosis එක වැරදි නම් MRI එක නියම කෙරෙන්නේ ඇත්තෙන්ම ඕන කොටස බලන්න නෙවේ.

උදාහරණයට ගත්තොත් Spondyloarthritis ගැන සැකනම් MRI එකේ අත්‍යවශ්‍ය වෙන්නෙ sacroiliac joints වල මිසක් lumbar spine කියන කෑල්ලෙ නෙවේ.

සමහර වෙලාවට MRI එක කරන්නෙ ඇයි කියල MRI එක ගන්න technicianට සහ එක report කරන radiologistට පැහැදිලි විස්තර දුන්නෙ නැත්තම් එන report එකෙන් ප්‍රයෝජනයක් නෑ. Spondyloarthritis වැනි කල්පවතින දුරදිගයන්න පුලුවන් ආතරයිටිස් හොයාගන්න වසර ගනන් පරක්කු වෙන්නෙ ඕක හින්ද. ඕක ලෝකෙ හැම රටේම තියන ප්‍රශ්නයක්.

 

එතකොට කොන්දෙ කැක්කුමට physiotherapy ඕනෙද නැද්ද, pain killers විතරක් ඇතිද නැද්ද, muscle relaxant එකක් ඕනෙද නැද්ද epidural ඉන්ජෙක්ශන් එකක් ඕනෙද නැද්ද, guided route injection එකක් ඕනෙද නැද්ද, surgery එකක් කරන්න ඕනෙද නැද්ද, DMARDS බෙහෙතක් ඕනෙද නැද්ද, bursal injection එකක් ඕනෙද නැද්ද කියල තීරණය කරන්න ඉහත කී සියලු දේ වැදගත් වෙනවා.

මේක කියවන ඔබ සමහර විට මේ වෙලාවෙත් ඉණට අත තියාගෙන කල්පනා කරනව ඇති මගෙ කොන්ද කැක්කුම හොඳ නොවුනෙ ඇයි කියල.

ඒකට හේතුව බොහෝ විට මේකෙම ලියවෙලත් ඇති.

අනික කැක්කුම අඩුවූ පමණින් ආතරයිටිස් රෝග හොඳ වන්නේ නැත. කොන්ඳෙ කැක්කුම ගෙනදෙන ආතරයිටිස්ද එසේමය.

කල්පනාකාරී වන්න.

 

Dr. අරුණ කල්දේරා

සන්ධි සහ සන්ධි ආශ්‍රිත රෝග විශේෂඥ වෛද්‍ය
Consultant Rheumatologist
MBBS, MD, MRCP (UK), MRCP (Rheumatology)

~~~~~~~~~~

විශේෂඥ වෛද්‍ය අරුණ කල්දේරා  විසින් රචිත තවත් මෙවැනි වටිනා ලිපි කියවීමට හා කෙටි දැනුවත් කිරීම් ලබා ගැනීමට පහත ෆේස්බුක් පිටුවට පිවිසෙන්න.

https://www.facebook.com/profile.php?id=61569051929927

Leave a Comment

Your email address will not be published. Required fields are marked *