TB day 2025

ලෝක ක්ෂය රෝග දිනය 2025: “ඔව්! අපිට ක්ෂය රෝගය අවසන් කරන්න පුළුවන්”

අද 2025 මාර්තු 24,  ඒ කියන්නේ මේ වසරේ ලෝක ක්ෂය රෝග දිනය. මේ වසරේ තේමාව තමයි “ඔව්! අපිට ක්ෂය රෝගය අවසන් කරන්න පුළුවන්: කැපවීම, ආයෝජනය හා ඉටු කිරීම මගින්” (Yes! We Can End TB: Commit, Invest, Deliver). මේක ඇත්තටම ලස්සන පණිවිඩයක්, ඒ වගේම අපි හැමෝටම එකතු වෙලා මේ රෝගයට එරෙහිව සටන් කරන්න කරන ආරාධනාවක්.

 

ක්ෂය රෝගය මොකක්ද?

අපි හැමෝම ක්ෂය රෝගය ගැන අහල තියෙනවා නේ. ඉංග්‍රීසියෙන් Tuberculosis (TB) කියලත් කියනවා. මේක එන්නේ Mycobacterium tuberculosis කියන බැක්ටීරියාවකින්. ගොඩක් වෙලාවට මේක පෙනහළු වලට බලපානවා. ක්ෂය රෝගය බෝවෙන්නේ ආසාදිත කෙනෙක් ගේ කෙල බිඳිති මගින් ,  ඒ කියන්නේ   කැස්ස, කිවිසුම් යනකොට පිටවන කෙල බිඳිති සහිත වාතය හරහා. ඒ වගේම දුප්පත්කම, මන්ද පෝෂණය වගේ දේවල් නිසා අපේ ප්‍රතිශක්තිකරණ පද්ධතිය දුර්වල වීම ක්ෂය රෝගය පැතිරෙන එක වැඩි කරනවා.

හැබැයි වාසනාවකට මේක සුව කරන්න පුළුවන්! ඒකට ඕන නිවැරදි ප්‍රතිකාර, කැපවීම සහ හිතවතුන්ගේ උදව් හා සහයෝගය. ඒ නිසා තමයි මේ වසරේ තේමාව මේ අවශ්‍යතා තුන මත ගොඩනැගිලා තියෙන්නේ: කැපවීම, ආයෝජනය, ඉටු කිරීම.

ක්ෂය රෝගය නැති කරන්න නම් අපි හැමෝම එකතු වෙන්න ඕන. රජය, වෛද්‍යවරු, සමාජය, රෝගීන්හැ, මේ හැමෝම සහයෝගයෙන් තමන්ගේ වගකීම ඉටු කල යුතුයි. ඒ වගේම අපිටත් පුළුවන් අනිත් අයට මේ ගැන කියලා දෙන්න, දැනුවත් කරන්න. කැපවීම කියන්නේ එක එක අයගේ උත්සාහයන් එකතු වෙලා ලොකු වෙනසක් කරන එක.

 

රෝග ලක්ෂණ

ශ්‍රී ලංකාවේ ක්ෂය රෝගය තාම තියෙනවා, නමුත් රෝගීන් සංඛයාව අඩු වෙමින් යනවා. මේ රෝගයේ ලක්ෂණ මොනවද කියනවා නම්, සති ගණනාවක් දිගටම පවතින කැස්ස, උණ, රෑට දහඩිය දාන එක, බර අඩු වෙන එක වගේ දේවල්. මෙන මේ රෝග ලක්ෂණ තියෙනවා නම් ඉක්මනින් වෛද්‍යවරක් හමු වෙන්න ඕනේ.

 

අපිට කරන්න පුළුවන් දේවල්

ක්ෂය රෝගය වළක්වන්න අපිට කරන්න පුළුවන් දේවල් ගොඩක් තියෙනවා. ආහාර වල පෝෂණය ගැන සැලකිලිමත් වෙන එක, පිරිසිදුව ඉන්න එක, රෝග ලක්ෂණ තියෙනවා නම් බෙහෙත් ගන්න යන එක. කිසියම් විදිහකින් අපිට ක්ෂය රෝගය වැළදිලා නම්, පොඩ්ඩක්වත් බය වෙන්න දෙයක් නෑ, හරියට බෙහෙත් ගන්න ඕන මාස 6-9 විතර, එතකොට රෝගය සම්පූර්ණයෙන්ම සුව වෙනවා.

ඒ වගේම ඉපදුන ගමන් දරුවන්ට ලබාදෙන BCG එන්නතත් ක්ෂය රෝගය වළක්වා ගන්න ගොඩක් වැදගත්.

 

එකතු වෙමු, සටන් කරමු

ඉතින්, මේ 2025 ලෝක ක්ෂය රෝග දිනයේදී අපි හැමෝම හිතට ගම්මු එකතු වෙලා මේ රෝගය සම්පුර්ණයෙන් නැති කරලා දාන්න. ඔයාලත් මේක ගැන යාළුවෝ එක්ක කතා කරන්න, හැමෝම දැනුවත් කරමු. එහෙනම්, තවත් සෞඛ්‍යමය කතා බහකින් හම්බවෙමු!


Massage From World Health Organization : https://www.who.int/europe/news-room/events/item/2025/03/24/default-calendar/world-tb-day-2025#:~:text=Every%20year%2C%2024%20March%20is,the%20world’s%20deadliest%20infectious%20disease.

 

Leave a Comment

Your email address will not be published. Required fields are marked *