A clear glass of water with condensation droplets on a table, with a blurred background of fresh fruits.

උණුසුම් කාලෙදි වතුර හොඳට බොන එක ඇයි වැදගත්?

උණුසුම් දවසක කට්ට අව්වෙ හෙවනක් නැති පාරක ඇවිදිනකොට දැනෙන දේ මොනවද? හිරු රස්නෙ තදින්ම දැනෙනවා, දාඩිය ගලනවා. ඔයාට ඕන වෙන්නේ සිසිල් තැනකට ගිහින්, සිසිල් පානයක් බොන්න විතරයි, එහෙම නේද? ඔයාල දන්නවද, වතුර හොඳට බොන එක තමයි අපේ සෞඛ්‍යයට හොඳම දේ, විශේෂයෙන්ම අපේ රටේ වගේ උණුසුම් කාලගුණයකදි.

වතුර බොන එක ඇයි මෙච්චර වැදගත්?

 

අපිට උණුසුම දැනෙනකොට, අපේ ශරීරය සිසිල් කරගන්න දහඩිය දානවා. ඒත්, දහඩිය දාද්දි ශරීරයෙන් වතුර අඩු වෙනවා. ඒ වතුර ආපහු හරියට බොන්නේ නැත්නම්, ශරීරයේ වතුර අඩු වෙනවා. එතකොට ඔයාට මහන්සි ගතියක් එන්න පුළුවන්, ඔලුව කැරකැවෙනවා වගේ දැනෙන්න පුළුවන්, ඒ වගේම තවත් බරපතල සෞඛ්‍ය ගැටළුත් ඇති වෙන්න පුළුවන්. ඉතින්, සමකය ආසන්නයේ ස්ථානගත වෙලා තියෙන අපේ රට වගේ තැනක, ග්‍රීස්ම කාලෙට වතුර හොඳට බොන එක ගොඩක් වැදගත්.

ජලය නොබීම (විජලනය) නිසා ඇතිවන බරපතල සෞඛ්‍ය ගැටලු

ජලය ප්‍රමාණවත් ලෙස නොගැනීම (විජලනය) බරපතල සෞඛ්‍ය ගැටලු ඇති කරනවා. මෙම තත්වය හඳුනා ගැනීම ගොඩක් වැදගත්. ඒ නිසා පහත සරලව සඳහන් කරල තියෙන විජලනයේ ලක්ෂණයන් මතක තියාගන්න.

 

සුළු විජලන තත්වයකදී (මද වශයෙන් ජලය අඩුවීම)

  • හිසරදය
  • වෙහෙස දැනීම
  • පිපාසය දැනීම
  • මුත්‍රා පාට ගැඹුරු වීම
  • මුත්‍රා යාම අඩුවීම
  • වියළි මුඛය හා තොල්
  • මානසික අවධානය අඩුවීම

මධ්‍යම විජලන තත්වයකදී

  • තද හිසරදය
  • කලබල හැඟීම
  • චකිතය (ක්ලාන්තය)
  • හෘද ස්පන්දනය වැඩිවීම
  • සමේ නම්‍යතාවය අඩුවීම (සම ඇල්ලූ විට ඉක්මනින් සාමාන්‍ය තත්වයට පත්නොවීම)
  • ශක්තිය අඩුවීම

දරුණු විජලන තත්වයකදී

  • අධික ලෙස වෙහෙස දැනීම
  • සංජානනය ගැටලු (හිතන්න අමාරු වීම)
  • භ්‍රමය (සිතේ විකාර)
  • සිහි විකල් වීම
  • ස්නායු ආබාධ (කම්පනය, ස්නායු පාලනය අඩුවීම)
  • වකුගඩු අකර්මණ්‍ය වීම
  • රුධිර පරිවහන අකර්මණ්‍ය වීම (shock)
  • මරණය

විශේෂයෙන් විජලන තත්වයට ලක්විය හැකි පිරිස්

  • වැඩිහිටියන් (වයස 65+)
  • කුඩා දරුවන්
  • ගර්භණී මව්වරුන්
  • දියවැඩියා රෝගීන්
  • වකුගඩු රෝග ඇති අය
  • උණ, පාචනය හෝ වමනය හේතුවෙන් ශරීරයෙන් ජලය අධික ලෙස ඉවත් වන අය
  • උණුසුම් කාලගුණයේ බාහිර ක්‍රියාකාරකම් කරන අය

 

විජලන තත්වය වැළැක්වීමට හොඳින් වතුර බොන්න කරන්න පුළුවන් දේවල්
  1. දවස පුරාවටම වතුර බොන්න
    උදේ ඇහැරුණ ගමන් වතුර වීදුරුවක් බොන්න. සෑම ආහාර වේල් වලට පෙර, පසු, රෑට නින්දට යන්න කලින් වතුර බොන්න. දවසට අඩුම ගානේ වතුර වීදුරු 8-10ක් හරි බොන්න ඕනේ, ඒත් උණුසුම වැඩි දවස්වල ඊටත් වඩා බොන්න!
  2. වතුර වැඩි පලතුරු කන්න
    කොමඩු, දොඩම් වගේ පලතුරු ගොඩක් වතුරෙන් පිරිලා තියෙනවා. ඒවා කන එකෙන් ඔයාගේ ශරීරයට වතුර ලැබෙනවා වගේම, රසත් තියෙනවා!
  3. වතුර ඉවත් කරන පාන වර්ග අඩුවෙන් බොන්න
    මත්පැන්, කෝපි, තේ වගේ දේවල් ශරීරයෙන් වතුර ඉවත් කරනවා. ඉතින්, ඒවා ටිකක් අඩු කරලා, වතුරටයි පලතුරු වලටයි වැඩි ඉඩක් දෙන්න.
  4. ශරීරය කියන දේ අහන්න
    ඔයාගේ මුත්‍රා තද කහ පාටද? එහෙමත් නැත්නම් පිපාසය දැනෙනවද? එහෙම නම්, ඒක ඔයාට වතුර වැඩිපුර බොන්න ඕනේ කියන ලකුණක්. ඒ වගේම, පිපාසය දැනෙන්නත් කලින් වතුර බොන්න, මොකද පිපාසය කියන්නේ ඒ වෙද්දිත් ශරීරයේ වතුර ටිකක් අඩු වෙලා කියන හින්ට් එකක්!
  5. පිපාසය දැනෙන තුරු නොසිට නිතිපතා ජලය බොන්න.

අපේ රටේ තියෙන තැඹිලි වතුර (king coconut water) වගේ ස්වාභාවික පාන වර්ගත් ගොඩක් හොඳයි. තැඹිලි වතුරේ තියෙන ඉලෙක්ට්‍රොලයිට්ස් (ඛණිජ ලවණ) ශරීරයට ඉක්මනට උරා ගන්න පුළුවන්, ඒ නිසා උණුසුම් දවසක තැඹිලි ගෙඩියක් බොන්න තියෙනවා නම් ගොඩක් වටිනවා.

විජලනයේ දරුණු ලක්ෂණ පෙන්නුම් කරන්නේ නම් හැකි ඉක්මනින් වෛද්‍ය ප්‍රතිකාර ලබා ගන්න. දරුණු විජලනය  ජීවිතයට තර්ජනයක් වෙන්න පුලුවන්.

 

මේ නිසා උණුසුම් කාලෙදි වතුර හොඳට බොන එක ගැන අමතක කරන්න එපා,  වතුර වැඩිපුර බොන එක, පලතුරු වැඩිපුර කන එක, සහ ඔයාගේ ශරීරය කියන දේ අහන එක මගින්, හිරු රශ්නේ තද වුණත්, ඔයාට සතුටින් සහ නිරෝගීව ඉන්න පුළුවන්. ඉතින්, උණුසුම් කාලෙ පටන් ගත්තා විතරයි, අද ඉඳන්ම වතුර බෝතලයක් ලගින් තියාගන්න අමතක කරන්න එපා, හරිද?

Leave a Comment

Your email address will not be published. Required fields are marked *