prevent diabetes

සුඛෝපභෝගීත්වය හා බැඳුනු මරුවෙක් – දියවැඩියාව (Diabetes Mellitus)

ඔබට මෙම රෝගය අද නොමැති වෙන්න පුලුවන්, තිබෙන මුත් නොදන්නවා වෙන්න පුලුවන්, කෙසේ වුවත් සෑම කෙනෙක්ටම මෙය වැලඳීමේ අවදානමක් තිබෙනව හරි හැටි ප්‍රවෙශම් නොවුනොත්.

 

01 දියවැඩියාව යනු කවරේද? 

 

  • ඕනෑම පුද්ගලයෙකුගේ ශරීරයේ රුධිර සීනි ප‍්‍රමාණය යම්කිසි සාමාන්‍ය පරාසයක් තුළ පාලනයකින් යුතුව පවතී.
  • මෙසේ පවතින රුධිරයේ සීනි මට්ටම අසාමාන්‍ය ලෙස ඉහල අගයක පැවතීම දියවැඩියා ව නම් රෝගී තත්වයයි.

 

02 ඔබගේ සාමාන්‍ය රුධිර සීනි  මට්ටම කුමක්ද?

 

  • සාමාන්‍යයෙන් පැය 08 සිට 12 දක්වා කාලයක් නිරාහාරව සිටි අයෙකුගේ රුධිරයේ සීනි මට්ටම 100mg/dl ට අඩු අගයක පවතී. මෙය 100 mg/dl  සිට 126 mg/dl  දක්වා ඉහල යාම පූර්ව දියවැඩියා තත්වයකි. ඔවුන් ඉදිරි කාලයකදී පූර්ණ දියවැඩියා රෝගීන් බවට පත්වීමට වැඩි ඉඩකඩක් පවතී. මෙය 126 mg/dlකට වැඩි  වීම දියවැඩියා රෝගී තත්වයකි.
  • යමෙකු තමන්ගේ සුපුරුදු සමබර ආහාර වේලක් අනුභව කර පැය දෙකකින් රුධිරයේ සීනි මට්ටම පරීක්‍ෂා කලේ නම් (PPBS) එය සාමාන්‍යයෙන් 140 mg/dl ට අඩු මට්ටමක පවතී  එය 140 mg/dl  සිට 199 mg/dlක දක්වා වැඩි වීම පූර්ව දියවැඩියා තත්වයකි එය 199mg/dl ට වැඩි වීම දියවැඩියාවයි.

 

03 ඔබට දියවැඩියාව වැළඳුනේ කෙසේද?

 

  • දියවැඩියාව වැළඳීමට හේතු කාරණා රැසක් පවතී. කුඩා අවධියේ දී වැළදෙන දියවැඩියාව (Type I) අග්න්‍යාශයේ ඉන්සියුලින් හෝර්මෝනය නිපදවීමේ ඌනතාවය මත හට ගන්නා අතර, වැඩිහිටි වයසේ දී සෑදෙන දියවැඩියාව (Type II) බොහෝ විට ඉන්සියුලින් හෝර්මෝනයේ ක‍්‍රියාකාරිත්වයේ ප‍්‍රතිරෝධී බව නිසා හට ගනී. මෙයට බොහෝ විට ආරය බලපායි.
  • මෙයට අමතරව කරුණු කාරනා හා තත්වයන් රැසකට ද්විතීයිකව දියවැඩියාව සෑදිය හැකිය. ඔබට වැළදී ඇත්තේ කුමන ආකාරයේ තත්වයක් ද බව ඔබගේ වෛද්‍යවරයා ඔබට පවසනු ඇත.

 

04 මේ වැළදී ඇති දියවැඩියා රෝගී තත්වය සුව වන්නේ කවදාද?

 

  • දියවැඩියාව යනු සුව කළ නොහැකියි. නමුත් මනා ලෙස පාලනය කළ හැකි රෝගී තත්වයකි.
  • නමුත් කලාතුරකින් සමහර විශේෂිත අවස්ථා වල දී ඇතිවන දියවැඩියා තත්වය ( උදා :- ගර්භනී අවධියේ දී ) නැවත සුව විය හැකි නමුත් ඔවුන්ට පසු කලකදී දියවැඩියාව වැළදීමට වැඩි ඉඩකඩක් පවතී.

ඔබට දියවැඩියා රෝගය වැළඳී ඇත්නම්, වෛද්‍ය උපදෙස් මත ක‍්‍රියා කිරීමෙන් එය ඉතාමත් ප‍්‍රශස්ථ මට්ටමකින් පාලනය සිදු කළ හැක.

 

05 දියවැඩියාවේ රෝග ලක්‍ෂණ මොනවාද?

දියවැඩියාවට රෝග ලක්‍ෂණ නොමැත. එනම් එදිනෙදා සාමාන්‍ය පරිදි ජීවත්වන අයෙකුට ඔහු නොදැනුවත්වම දියවැඩියාව තිබෙනවා වුවද විය හැකිය. නමුත් එහි කෙටි කාලීන හා දිගු කාලීන සංකූලතාවයන් මත යම් කිසි රෝගී ලක්‍ෂණ ඇති විය හැක.

උදා :-

කෙටි කාලීන සංකූලතා

  • දැඩි පිපාසය හා මුත‍්‍රා අධික ලෙස පිටවීම. ( විශේෂයෙන් රාත‍්‍රීයේදී)
  • පිරිමින්ගේ මුත‍්‍ර මාර්ගය ආශ‍්‍රිතව ඇතිවන ආසාදන හා වන වීම්.
  • ගැහැණුන්ගේ යෝනි මාර්ගය ආශිත ආසාදන (සුද යෑම)
  • ශරීරයේ බර වෙනස් වීම.

දිගු කාලීන සංකුලතාවයන්

උදා :-

  • හෘදයාබාධ.
  • අංශභාගය.
  • ශරීරයේ කොටසක් අප‍්‍රාණික වීම.
  • අන්ධ භාවය හෝ දෘෂ්‍යාබාධ.
  • පාදයේ වනවීම්.
  • වකුගඩු ක‍්‍රියාකාරිත්වය අකර්මන්‍ය වීම.
  • අතපයේ හිරි වැටීම්.

 

06 රෝගී ලක්‍ෂණ ඇත්නම් කුමක් කළ යුතුද?

ඔබ වයස අවුරුදු 35 ට වැඩි නම් රුධිර සීනි පරීක්‍ෂාවක් කර ගැනීම සුදුසු වේ.

  • ඔබගේ කිට්ටු ඥාතීන්හට දියවැඩියාව වැළදී ඇත්නම්.
  • ඔබ පූර්ව දියවැඩියා රෝගී තත්වයෙන් පෙළේ නම්
  • ඔබ තරබාරු අයෙක් නම්.

          හෝ ඉහත රෝග ලක්‍ෂණ වේ නම් රුධිරයේ සීනි මට්ටම වෛද්‍ය උපදෙස්  මත පරීක්‍ෂා කරගත යුතුය.

 

07 දියවැඩියාව පාලනය කළ යුත්තේ ඇයි ?

ප‍්‍රතිකාර නොගත්තත් සමහර විට ඔබට ගැටලුවකින් තොරව යම් කාලයක් ජීවත් වීමේ හැකියාවක් පවතී.

නමුත් මෙම කාලය දැඩි කුණාටුවකට පෙර පවතින දැඩි නිහැඩියාවක් තරමට භයානකය. ඒ ඔබට නොදැනීම දියවැඩියා රෝගී තත්වය නිසා දිනෙන් දින ක‍්‍රමක් ක‍්‍රමයෙන් ඔබගේ ශරීරයේ සෑම අවයවයක්ම විනාශය කරා ලගා කරමින් පැවතීම. එනම් නිහඩව කාලයා විසින් ඔබ මරා දැමීමට (a silent killer)  දියවැඩියා රෝගය ක‍්‍රියා කරනු ඇත. අනතුරුව සංකූලතා මතු වී එමගින් ඔබට දැඩි සෞඛ්‍ය අපහසුතා හා මාරාන්තික රෝගී තත්වයන් උදා කරනු ඇත.

උදා :-

  • හෘදය හා නහර   –  හෘදයාභාධ, පාදයේ නහර සිහින් වී රුධිර ගමනා ගමනය මද වී කකුල් කැපීමට පවා සිදු විය හැක.
  • ස්නායු – අංශභාග තත්ව, ස්නායු දුර්වලතා, ලිංගික අප‍්‍රාණික තත්වය, අතපයේ හිරිවැටීම් හා වේදනා පාද අහිමි වීම දක්වා දිවයෑම.
  • වකුගඩු –  වකුගඩු අකර්මන්‍ය වී බද්ද කිරීමක් දක්වා දරුණු වීමේ හැකියාව.

08 එසේනම් මේවා වළක්වා ගැනීමට කළ යුත්තේ කුමක් ද?

        1 ඔබගේ වෛද්‍යවරයාගේ උපදෙස් නිසි පරිදි පිළිපදින්න.

තවදුරටත්

        2 ඔබගේ වෛද්‍යවරයාගේ උපදෙස් නිසි පරිදි පිළිපදින්න.

ඉවසීමෙන් හා සිහියෙන්

        3 ඔබගේ වෛද්‍යවරයාගේ උපදෙස් නිසි පරිිදි පිළිපදින්න.

එනම් කළ හැකි එකම දේ නිසි වෛද්‍ය ප‍්‍රතිකාර ලැබීම පමණකි.

 

09 ඒ කියන්නේ දියවැඩියා රෝගියෙකුට සාමාන්‍ය කෙනෙකුට මෙන් ජීවත් වීමේ හැකියාවක් නැත්ද?

අනිවාර්යෙන්ම පුළුවන්.

බාල අවඩියේදී වැළදෙන රෝගියෙකුට වුනත් එදිනෙදා රෝග පාලනයක් කර ගත්තේ නම් ආචාර්ය මහාචාර්ය්‍ය වරයෙකු දක්වා ඉගෙන ගත හැක.  ඕනෑම ඉහල නිලයක් දක්වා ගමන් කළ හැක.  විවාහ වී දරු මල්ලන් ලබා ප‍්‍රීතිමත් යුග දිවියක් ගත කළ හැක.

නමුත් ඒ සඳහා එක් අවශ්‍යතායක් පවතී. රෝගය පිළිබඳ එළඹ සිටි සිහියෙන් යුතුව කටයුතු කොට මනා පාලනයක් කර ගැනීමයි. එයට ඔබගේ වෛද්‍යවරයා අඛණ්ඩව සහය වනු ඇත .

 

10 කලයුතු හා කල නොකල යුතු දෑ කවරේද?

 

පළමුව ඔබ රෝගය හා එහි චර්යාව හොඳින් හඳුනා ගත යුතුය. සාමාන්‍ය අයෙකු පිෂ්ඨය හා සීනිමය ආහාරයක් අහාරයට ගත් විට රුධිරයේ සීනි මට්ටම ඉහල අගයකට පත් වන අතර ශරීරය ඒ අනුව ක්‍ෂණිකව ක‍්‍රියාකර අගන්‍යාෂයෙන් ශ්‍රාවය කරන ඉන්සියුලින් වල ක‍්‍රියාකාරීත්වය විසින් එම ඉහල සීනි මට්ටම සැනෙන් සාමාන්‍ය මට්ටම දක්වා අඩු කර පාලනය කර තබා ගනී.

දියවැඩියාව සහිත ඔබගේ මෙම ඉන්සියුලින් ක‍්‍රියාකාරීත්වය සාමාන්‍ය නොවන නිසා එවන් පාලනයක් බලාපොරොත්තු විය නොහැක.  එනිසා භෞතික ක‍්‍රම හා ඖෂධ ක‍්‍රම මගින් අප විසින් පාලනයක් ඇති කර ගත යුතු වේ.

නමුත් මෙය ස්වභාවික පාලනය තරම්ම පහසු හා කාර්යක්‍ෂම නොවේ. එම නිසා ශරීරයට පාලනය කරගත නොහැකි සීනි මට්ටමක් (ග්ලූකෝස්) අප ලබා නොදිය යුතුය.

මෙහිදී මතක තබා ගන්න. වෛද්‍යවරයා ඔබට මාර්ගෝපදේශකයෙක් පමණි  උපදෙස් පිළිපදිමින් රෝග පාලනය කර ගැනීම ඔබ විසින් ම කල යුත්තකි. එය පහත ආකාර වලින් කල හැකිය.

භෞතික ක‍්‍රමවේදයන්.

  • ආහාර පාලනය මගින් කොලෙස්ටරෝල් හා සීනි පාලනය.
  • ශරීර බර පාලනය.
  • නිසි ව්‍යායාම.
  • දුම්පානය නතර කිරීම හා මත්පැන් පාලනය.
  • ශරීර අවයව හා කොටස් පිළිබඳ විශේෂ අවධානයක් යොමු කිරීම. උදාඃ පාද නඩත්තු කිරීම.

ඖෂධ භාවිතය.

  • වෛද්‍යවරයා නියම කරන ඖෂධ නියමිත මාත‍්‍රාව නියමිත වාර ගණනක් භාවිතා කල යුතුය.
  • වරින් වර සිදු කරන රුධිර හා මුත‍්‍රා පරීක්‍ෂණ හා අනෙකුත් විශේෂ පරීක්‍ෂණ නිසි පරිදි සිදු කරගත යුතුය.

 

දියවැඩියාව මෙතරම් දරුණු වන්නේ ඇයි සහ ආහාර පාලනය කල යුත්තේ කෙසේද 

යන කරුණු සහිතව ලිපියේ ඉතිරි කොටසින් හමුවෙමු

Leave a Comment

Your email address will not be published. Required fields are marked *