sri lankan student

මෙවර සාමාන්‍ය පෙළ විභාගයට පෙනී සිටින දුවල පුතාල හැමෝටම සුභ පැතුම්!

සාමාන්‍ය පෙළ විභාගය කියන්නේ අපේ දුවල පුතාල හැමෝටම ගොඩක් වැදගත් විභාගයක්. මොකද මේ විභාගයෙන් තමයි උසස් පෙළට තෝරාගන්න විෂය ධාරාව තීරණය වෙන්නේ. ඒ වගේම අනාගතයට බලපාන කඩඉමක්. ඒ නිසා අපි මේ විභාගයට පුළුවන් උපරිමයෙන් ලියන්න ඕනේ. හැබැයි ඒ ගැන හිතල අනවශ්‍ය පීඩනයක් අරන් විභාගයට යන එක කිසිම ප්‍රයෝජනයක් නෑ.

අද මම මේ ලිපියෙන් ඔයාලට සුභ පතනවා වගේම, විභාග කාලේ මනස ශක්තිමත්ව තියාගන්න වැදගත් කරුණු කීපයක් ගැනත් කියන්න යනවා. විනාඩි 3ක් 4ක් අරන් කියවන්න.

  • දෙමව්පියොත් කියෙව්වොත් වැදගත් වෙයි කියල හිතනවා.

1. උවමනා දේවල් ඔක්කොම ලෑස්ති කරගන්න

කලින් දවසේ රෑට ඔයාලට විභාගෙට ඕනෑ දේවල් ඔක්කොම ලෑස්ති කරගන්න.

පෑන් (අඩුම දෙකක්වත්, ලියවෙනවද කියලත් බලන්න ), පැන්සල්, මකන,  ID එක, admission එක – මේ හැමදේම බෑග් එකට දාගන්න. උදේට ඉක්මනට ලෑස්ති වෙන්න ඇඳුමත් තෝරලා මැදලා තියාගන්න. සපත්තු, ටයි එක හොයල තියන්න එතකොට උදේට ඔයාලට කලබල වෙන්න දෙයක් නෑ, පරක්කු වෙලා දුවන්න දෙයක් නෑ.

 

2. හොඳ නින්දක් ගන්න

කලින් දවසේ රෑට හොඳට නිදාගන්න. නින්ද තමයි ඔයාලගේ මනස නැවුම්ව තියාගන්න ලොකුම රහස. ජාත්‍යන්තරවත් පිළිගන්නවා හොඳ නින්දක් (පැය 7-8ක් වත්) මනසට වගේම ශරීරයටත් කොච්චර වැදගත්ද කියලා. ඉතින් අන්තිම මොහොතේ රෑ  එක දෙක වෙනකල් පාඩම් කරන්න යන්න එපා, අවුරුදු ගානක් ඔය ඉගෙන ගත්ත දේවල් ඔයාට විභාගයට ලියන්න හොඳටම ඇති, දැන් වැදගත්ම දේ හෙට සැහැල්ලු මනසක් තියා ගන්න එක. එතකොට තමයි අවශ්‍ය දී හරියට වෙලාවට මතක් වෙලා එන්නේ. ෆෝන් එක, චැට් කරන එක අයින් කරලා, කාමරේ ලයිට් ඕෆ් කරලා, සුවපහසුව නිදාගන්න. එතකොට උදේට ඔයාලගේ හිත හරිම නැවුම් වෙයි!

 

3. උදේට හොඳට කාල යන්න අමතක කරන්න එපා

විභාගෙට යන්න කලින් බඩගින්නේ ඉන්න එපා, පෝෂ්‍යදායී උදේ කෑමක් කන්න. විශේෂ දේවල් නැතුව සාමාන්‍යයෙන් වෙනදා කන දෙයක් නම් හොඳයි. පිටින් කනවා නම් පුළුවන් පිරිසිදුවට කෑම හදන විශ්වාස තැනකින් ගන්න. ඒ වගේම කෝපි වැඩිය බොන්න එපා, තෙල්, මිරිස් ගොඩක් තියෙන කෑමත් කන්න යන්න එපා.

වෙලාවට යන්න ඉන්නේ නැතුව ටිකක් කලින් යන්න, ට්‍රැෆික් වගේ ප්‍රමාද වීම් වෙන්න පුළුවන්නේ. කලින් ගියාම හිත සැහැල්ලුවෙන් ඉන්න පුළුවන්. හැබැයි යාලුවෝ එක්ක මොනවා එයිද කියල සාකච්චා තියන්න යන්න එපා, පොඩ්ඩක් සතුටු හිතෙන දෙයක් ගැන කතා කරලා සැහැල්ලුවෙන් ඉන්න.

 

Stress වගේද? ගැඹුරු හුස්මක් ගන්න

ඔයාලට බය හිතෙනවා නම්, හිතට ලොකු බරක් දැනෙනවා නම්, ගැඹුරින් හුස්ම ගන්න ටිකක්. ලෝකෙ පුරාම මේ ක්‍රමය මනස සන්සුන් කරන්න භාවිතා කරනවා. ලේසියෙන් කරන්න පුළුවන් – සෙමින් හුස්ම ගන්න, ටිකක් ඒක ඇතුළේ තියාගන්න, ඊට පස්සේ සෙමින් හුස්ම පිට කරන්න. විනාඩි 2-3ක් මෙහෙම කරන්න. ඔයාලට එකපාරටම සැහැල්ලුවක් දැනෙයි. දැන්, හෙට උදේ එහෙම නැත්නම් විභාග වෙලාවේ උනත් බයක් ආතතියක් දැනුනොත් කලබල නොවී මේ විදිහට විනාඩියෙන් හිත සන්සුන් කර ගන්න පුළුවන්.

 


විභාගෙදි හිත ශක්තිමත්ව තියාගන්න

විභාගේ වෙලාවේ ප්‍රශ්න පත්‍රය ගත්ත ගමන් හැමදේම කියවලා බලන්න. මුලින්ම හරියට විභාග අංකය ලියන්න. ඔයාලට හොඳටම පුළුවන් ප්‍රශ්න ටිකෙන් පටන් ගන්න. එතකොට ඔයාලට විශ්වාසයක් එනවා පේපර් එක ගැන. අමාරු ඒවා ටික අන්තිමට තියන්න. එක ප්‍රශ්නයකට වැඩි වෙලා ගන්න යන්න එපා – වෙලාව හොඳට බෙදාගෙන ලියන්න.

අමාරු ප්‍රශ්න තියෙන්න පුළුවන්, ගොඩක් ප්‍රශ්න අමතකයි වගේ දැනෙන්න පුළුවන්, අතාරින්න එපා දන්නා දේවල් සාමාන්‍ය දැනීම පාවිච්චි කරලා ලැබෙන කාලයෙන් උපරිම ප්‍රයෝජන අරන් පුළුවන් තරම් ප්‍රශ්න වලට ලියන්න.

 


විභාගෙන් පස්සේ රිලැක්ස් වෙන්න

එක විභාගයක් ඉවර වුණාම ඒ විෂය හිතින්න අයින් කරලම දාන්න, නිකමටවත් ලියපු දේවල් හරිද බලන්න යන්න එපා (බලන්න දෙයක් නෑ  හරි).  කාල බිල හිත සැහැල්ලු වෙන්න පොඩ්ඩක් විවේක ගන්න. කලින් හදාගත්ත පොඩි ෂෝර්ට් නෝට් තියෙනවා නම් මම කලින් ලිව්ව ලිපියක් තියන විදිහට Pomodoro Technique එක්ක පොඩි Time Block ටිකක් හදාගෙන ඊළඟ විභාගෙට පොඩි පසු විපරමක් කරගන්න. අලුත් මාතෘකා විෂය කරුණු කියවන්න යන්න එපා, දන්නා දේ තහවුරු කර ගන්න. ඊට පස්සේ මම ඉහල කිව්ව පියවර 3 පිළිපදින්න.

 


ඔයා තනි වෙලා නෑ!

මතක තියාගන්න, ඔයා තනියෙන් නෙවෙයි මේ අභියෝගයට මුහුණ දෙන්නේ. ඔයාලගේ අම්මා, තාත්තා, ගුරුවරු, යාළුවෝ හැමෝම ඔයාලට උදව් කරන්න ඉන්නවා. ඔයාට බයක්, ප්‍රශ්නයක් තියෙනවා නම් ඒ ගැන කතා කරන්න. එයාල ඔය වෙනුවෙන් ඉන්නවා.

 


මතක තියාගන්න

මේ විභාගය ඔයාලගේ ජීවිතේ එකම දේ නෙවෙයි. ඒක එක පියවරක් විතරයි, ජීවිතේ එක අභියෝගයක්. සාර්ථකව විභාගයකට මුහුණ දෙන එකම වටිනා life skill එකක්. ඔයාලා හොඳට උත්සාහ කරනවා නම්, හොඳ ප්‍රතිඵල ගන්න ඔයාලට පුළුවන්. ඒත් ඒක එක්කම ඔයාලගේ හිතත් ශරීරයත් නිරෝගීව තියාගන්න ඕනේ.

එහෙනම් දුවේ පුතේ, විභාගය හොඳටම ලියන්න ඔයාලට ශක්තිය, ධෛර්යය සහ සාර්ථකත්වය උපරිමයෙන් ලැබෙන්න කියල මුළු හදින්ම මම ප්‍රාර්ථනා කරනවා!

ජය වේවා ! සුභ පැතුම්!

 


දෙමව්පියෝ මේ ලිපිය කියවනවා නම්,

 

විභාගේ ලියල ආපු දුව පුතාගෙන් එකපාර ලෙසි ද අමාරුද කියල අහන්න යන්න එපා, කියක් ප්‍රශ්ණ ලිව්වද අහන්න යන්න එපා. ඕනේ නම් වෙලාවට ගියාද  අහන්න, යාලුවෝ ඔක්කොම ආවද අහන්න. දුව පුතා හිතල විස්තරයක් කිව්වොත් හොඳට අවදානය දීල සවන්දෙන්න. සමහරවිට කියයි, අම්මා, තාත්තා විභාගේ අමාරුයි ප්‍රශ්න ගොඩක් ලියන්න බැරි උනා කියල, එතකොට ඒවා ගැන මොනවත් හිතන්න එපා ලියපු ගාන හොඳටම ඇති කියල හිත සැහැල්ලු කරන්න. කෑම  බීම  ඉක්මනට ලෑස්ති කරලා දීල ටිකක් විවේක ගන්න දෙන්න. අවසන් මොහොතේ ගොඩක් පාඩම් කරනවා කියන එක සාර්ථක ක්‍රමයක් නෙවෙයි. හිත සැහැල්ලුවෙන් තියා ගන්න එකයි වටින්නේ. 

සමහර දරුවන් ටිකක් ඉක්මනට කලබල වෙනවා, stress වෙනවා එයාලට පවුලේ අයගේ සහය ගොඩක් අවශ්‍යයි, එයාලට දැනෙන්න ඕනේ විභාග ප්‍රතිපල මොකක් වුනත් ජීවිතේ ජයගන්න පුළුවන් කියන එක, මොනදේ වුනත් එයාගේ පව්ලේ අය එයා වෙනුවෙන් ඉන්නවා කියන එක. මේ කාලේ එයාල ගැන ටිකක් අවදානයෙන් ඉන්න. වෙනදට වඩා ටිකක් සංවේදී වෙන්න, තරහා ගන්න එපා, පුළුවන් තරම් කරුණාවෙන් සැහැල්ලුවෙන් කතා බහ කරන්න. ඔයාලත් ගෙදර සතුටින් සැහැල්ලුවෙන් ඉන්න. ඒ වටපිටාව දරුවන්ට විභාගයට හොඳින් මුහුණ දෙන්න ගොඩක් බලපානවා. 

Leave a Comment

Your email address will not be published. Required fields are marked *